عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

Those who set the ranks [As-Saaffat] - Sinhalese translation - Rowwad Translation Center

Surah Those who set the ranks [As-Saaffat] Ayah 182 Location Maccah Number 37

පෙළට පෙළ ගැසී සිටින්නන් මත දිවුරමින්.

තවද පසුපසින් මෙහෙයවා යන්නන් මත දිවුරමින්.

තවද අනුශාසනාව පාරායනය කරන්නන් මත දිවුරමින්.

නියත වශයෙන් ම නුඹලාගේ දෙවියා එක ම ය.

අහස් හා මහොපොළොවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන් ය. තවද නැගෙනහිර දිශාවන්හි ද හිමිපාණන් ය.

සමීපව පිහිටි අහස අපි ග්‍රහ වස්තු මඟින් නියත වශයෙන් ම අලංකාරවත් කළෙමු.

තවද සීමාව ඉක්මවා ගිය සෑම ෂෙයිතානුවකුගෙන් ම ආරක්ෂාවක් වශයෙනි.

උසස් වූ පිරිස (මලක්වරු) වෙත ඔවුන් සවන් දිය නොහැකි ය. තවද ඔවුහු සෑම පැත්තකින් ම පහර දෙනු ලබති.

(එය) පලවා හැරීමක් වශයෙනි. තවද ඔවුනට නිරන්තර දඬුවමක් ඇත.

(රහස් කතා) පැහැර ගෙන සවන් දෙන්නා හැර. එවිට සිදුරු කරන උල්කාවන් ඔහු ලුහුබඳියි.

“මැවීමෙන් වඩාත් බලවත් වන්නේ ඔවුන් ද එසේ නැතහොත් අපි මවා ඇති දෑ දැ” යි ඔවුන්ගෙන් ඔබ විමසනු. නියත වශයෙන් අපි ඔවුන් ඇලෙනසුළු මැටියෙන් මැව්වෙමු.

එහෙත් නුඹ පුදුම වූයෙහි ය. ඔවුහු (ඒ ගැන) සමච්චල් කරති.

තවද ඔවුනට උපදෙස් කරනු ලබන විට ඔවුහු උපදෙස් නො ලබති.

තවද ඔවුහු යම් සංඥාවක් දුටු විට සමච්චල් කරති.

තවද ඔවුහු මෙසේ පවසා සිටියෝ ය. “මෙය පැහැදිලි හූනියමක් මිස නැත”

“අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන් ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු ද?”

“අපගේ මුල් මුතුන්මිත්තන් ද (නැවත නැගිටුවනු ලබන්නෝ ද?)”

අහෝ නබිවරය! “එසේ ය. තවද නුඹලා (අල්ලාහ් ඉදිරියේ) පහත් වූවන් යැ”යි නුඹ පවසනු.

නියත වශයෙන් ම එය එක් හඬකි. එවිට ඔවුහු එය දකිති.

තවද “අහෝ! අපගේ විනාශ ය. මෙය විනිශ්චය දිනය වේ” යැයි ඔවුහු පවසති.

“නුඹලා කවර දෙයක් බොරුකරමින් සිටියේ ද එම විනිශ්චය දිනය මෙය වේ” (යැයි කියනු ලැබේ.)

අපරාධ කළවුන් හා ඔවුන්ගේ සහකරුවන් නුඹලා එක්රැස් කරනු. තවද ඔවුන් නමදිමින් සිටි දෑ ද.

අල්ලාහ්ගෙන් තොරව (ඔවුන් නමදිමින් සිටි දෑ ද එක්රැස් කරනු.) තවද නිරයේ මාවත වෙත නුඹලා ඔවුනට මග පෙන්වනු.

තවද නුඹලා ඔවුන් නවතා තබනු. නියත වශයෙන් ම ඔවුන් විනිශ්චය කරනු ලබන්නෝ ය.

නුඹලාට කුමක් වී ද? නුඹලා එකිනෙකා උදව් නොකරනුයේ (මන් ද?).

එසේ නොව ඔවුහු අද දින යටත් වූවෝ ය.

තවද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු වෙත මුහුණ ලා ඔවුහු එකිනෙකා විමසා ගනිති.

නියත වශයෙන් ම නුඹලා දකුණු දෙසින් අප වෙත පැමිණෙමින් සිටියෙහුය යැයි (සිය නායකයින් අනුගමනය කරන) ඔවුහු පවසා සිටියෝ ය.

“එසේ නොව නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් නො වූයෙහු” යැයි ඔවුහු (නායකයින්) පවසා සිටියෝ ය.

තවද නුඹලා මත කිසිදු බලයක් (යෙදවීමට) අපට නො වීය. එහෙත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් වූයෙහු ය.

එහෙයින් අපට එරෙහිව අපගේ පරමාධිපතිගේ ප්‍රකාශය නියම වී ඇත. නියත වශයෙන් ම අපි (එය) රස විඳින්නෝ වෙමු.

තවද අපි නුඹලා නොමග හැරියෙමු. නියත වශයෙන් ම අප ද නොමග ගියවුන් වූයෙමු.

එහෙයින් නියත වශයෙන් ම ඔවුහු එදින දඬුවමෙහි හවුල්කරුවෝ වෙති.

නියත වශයෙන් ම අපි වැරදිකරුවන් සමඟ කටයුතු කරන්නේ එලෙස ය.

“අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැතැයි” ඔවුනට පවසනු ලැබූ විට, නියත වශයෙන් ම ඔවුහු උඩඟුකම් පාමින් සිටියෝ ය.

තවද “උමතු වූ කවියෙකු වෙනුවෙන් අපි අපගේ දෙවිවරුන් අතහැර දමන්නෝ වෙමු දැ?” යි ඔවුහු පවසා සිටිති.

එහෙත් ඔහු (මුහම්මද්) සත්‍යය සමඟ පැමිණියේ ය. තවද ඔහු (පෙර සිටි) ධර්ම දූතයින් තහවුරු කළේ ය.

නියත වශයෙන් ම (අශිෂ්ඨ ජනයා වන) නුඹලා එම වේදනීය දඬුවම රස විඳින්නෝම ය.

තවද නුඹලා සිදු කරමින් සිටි දෑට මිස නුඹලා ප්‍රතිඵල දෙනු නො ලබනු ඇත.

එහෙත් අල්ලාහ්ගේ අවංක වූ ගැත්තන් හැර.

හඳුනා ගනු ලබන පෝෂණය ඇත්තෝ ඔවුහු ම ය.

පලතුරු ද ඇත. තවද ඔවුහු ගරු කරනු ලබන්නෝ ය.

(ඔවුන්) සැප පහසුකම් සහිත උයන්හි ය.

යහන් මත එකිනෙකාට මුහුණ ලා සිටිති.

(සුරා) උල්පතින් වූ කුසලාන ඔවුන් වටා යවනු ලැබේ.

එය සුදු පැහැති ය. පානය කරන්නන්හට ප්‍රණීත ය.

එහි උවදුරක් නොමැත. තවද ඔවුහු එයින් මත් නො වෙති.

තවද සංවර බැල්මෙන් යුත් ලලනාවෝ ඔවුන් අබියස වෙති.

නියත වශයෙන් ම ඔවුන් සඟවා තබනු ලැබූ බිත්තර මෙනි.

එමෙන් ම ඔවුන් (ස්වර්ග වැසියන්) එකිනෙකා විමසා ගනිමින් ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු ඉදිරියට එනු ඇත.

නියත වශයෙන් ම මට සමීප මිතුරෙකු සිටියේ යැයි ඔවුන් අතරින් ප්‍රකාශකයකු පවසනු ඇත.

නියත වශයෙන් ම නුඹ (විනිශ්චය දිනය) සත්‍ය කරන්නන් අතරින් කෙනෙකු දැ? යි ඔහු විමසයි.

අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන් ම අප ප්‍රතිඵල දෙනු ලබන්නෙම් දැ? (යි ද ඔහු විමසයි.)

නුඹලා ඔහුව එබී බලන්නේ දැ? යි ඔහු (අල්ලාහ්) විමසයි.

එවිට ඔහු එබී බලයි. එවිට ඔහු නිරය මැද සිටිනු ඔහු දකිනු ඇත.

අල්ලාහ් මත දිවුරා (පවසමි). ඔබ මා විනාශ කරන්නට තැත් කළෙහිය යැයි ඔහු පවසයි.

මාගේ පරමාධිපතිගේ ආශිර්වාදය නො වී නම් මා ද (නිරයට) සම්මුඛ කරනු ලබන්නන් අතරින් වෙමි.

එසේ නම් අප මිය යන්නන් ලෙස නො වන්නෙමු ද?

අපගේ මුල් මරණය මිස. තවද අපි දඬුවම් කරනු ලබන්නන් නො වෙමු.

නියත වශයෙන් ම මෙය මය අතිමහත් ජයග්‍රහණ ය.

මෙවන් දැයට ක්‍රියා කරන්නෝ ක්‍රියා කරත්වා!

සංග්‍රහයෙන් ශ්‍රේෂ්ඨ වනුයේ එය ද එසේ නැතහොත් zසක්කූම් (නම් කටු) ගස ද?

නියත වශයෙන් ම අපි එය අපරාධකරුවන්ට පරීක්ෂණයක් බවට පත් කළෙමු.

නියත වශයෙන් ම එය නිරය පතුලෙහි මතු වන ගසකි.

එහි පොහොට්ටු ෂෙයිතානුන්ගේ හිස් මෙනි.

එවිට ඔවුහු එයින් (zසක්කූම් නම් කටු ගසින්) අනුභව කර එයින් කුසවල් පුරවාගන්නෝ වෙති.

පසුව නියත වශයෙන් ම ඔවුනට එහි ලෝ දියෙන් යුත් පානයක් ඇත.

පසුව නියත වශයෙන් ම ඔවුන් යොමු කරනු ලබන ස්ථානය ඇත්තේ නිරය වෙත ය.

නියත වශයෙන් ම ඔවුහු (මෙලොවෙහි) ඔවුන්ගේ මුතුන් මිත්තන් නොමග ගියවුන් බව දුටුවෝ ය.

තවද ඔවුහු ඔවුන්ගේ පා සලකුණු මත යන්නට ඉක්මන් කරනු ලබති.

ඔවුනට පෙර සිටි මුතුන් මිත්තන් බහුතරයක් දෙනා සැබැවින් ම නොමග ගියෝ ය.

තවද සැබැවින් ම අපි ඔවුන් අතරට අවවාද කරන්නන් එව්වෙමු.

අවවාද කරනු ලැබූවන්ගේ අවසානය කෙසේ වී දැ? යි මැනවින් බලනු.

අල්ලාහ්ගේ අවංක ගැත්තන්ට හැර (ඔවුන්ගේ අවසානය යහපත් විය).

තවද සැබැවින් ම නූහ් අප ඇමතුවේ ය. එවිට (අපි) යහපත් ප්‍රතිචාර දක්වන්නන්ගෙන් ඉතා ශ්‍රේෂ්ඨයින් වූයෙමු.

තවද අපි ඔහු හා ඔහුගේ නිවැසියන් මහා විපතින් මුදවා ගත්තෙමු.

තවද අපි ඔහුගේ පරපුර පමණක් ඉතිරිවූවන් බවට පත් කළෙමු.

තවද පසු පැමිණි පරපුර අතර ඔහු පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.

ලෝවැසියන් අතර නූහ්ට ශාන්තිය අත්වේවා!

නියත වශයෙන් ම අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙස ය.

නියත වශයෙන් ම (නූහ් වන) ඔහු දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් විය.

පසුව අපි සෙස්සන් (දියේ) ගිල්වූයෙමු.

තවද නියත වශයෙන් ම ඔහුගේ පිළිවෙතින් වූ කෙනෙකි ඉබ්රාහීම්.

සන්සුන් හදවතින් ඔහු ඔහුගේ පරමාධිපති වෙත පැමිණි අවස්ථාව සිහිපත් කරනු.

‘නුඹලා කුමක් නමදින්නෙහුදැ?’යි ඔහු තම පියාට හා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

“අල්ලාහ් හැර මවා ගත් දෙවිවරුන් නුඹලා අපේක්ෂා කරන්නෙහු ද?”

“එසේ නම් ලෝවැසියන්ගේ පරමාධිපති පිළිබඳ නුඹලාගේ අදහස කුමක් ද?”

එවිට ඔහු (ඉබ්රාහීම්) තාරකා දෙස අධීක්ෂණයෙන් බැලුවේ ය.

පසුව ‘නියත වශයෙන් මම මම රෝගියෙකි’ යැයි ඔහු පැවසුවේ ය.

(ඉබ්රාහීම්ගේ සමූහයා වන) ඔවුහු පිටුපාන්නන් ලෙසින් ඔහුගෙන් හැරී ගියෝ ය.

පසුව ඔහු ඔවුන්ගේ දෙවිවරුන් (පිළිම) වෙත හීන් සීරුවේ ගොස් “නුඹලා අනුභව නොකරන්නෙහුදැ?” යි විමසා සිටියේය.

නුඹලා කතා නො කර සිටීමට නුඹලාට කුමක් වී ද?

පසුව ඔහු (ඉබ්රාහීම්) ඔවුන් (පිළිම) වෙත හීන්සීරුවේ ගොස් තම දකුණතින් පහරක් දුන්නේ ය.

එවිට ඔවුහු (ඉබ්රාහීම්ගේ සමූහයා) ඔහු වෙත වේගයෙන් ගමන් ගනිමින් ඔහු ඉදිරියට ආවෝ ය.

එවිට “නුඹලා කැටයම් කළ දෑට නුඹලා ගැතිකම් කරන්නෙහු දැ?” යි ඔහු (ඉබ්රාහීම්) විමසුවේ ය.

තවද අල්ලාහ් නුඹලා සහ නුඹලා ඉදි කරන දෑ මවා ඇත්තේ ය.

“ඔහු (ඉබ්රාහීම්) වෙනුවෙන් යම් ඉඳිකිරීමක් තනා පසුව ඔහුව ගින්නෙහි හෙළනු යැ”යි ඔවුහු පැවසූහ.

එවිට ඔවුහු ඔහුට කුමන්ත්‍රණයක් කිරීමට අදහස් කළෝ ය. එහෙයින් අපි ඔවුන් පහත්වූවන් බවට පත් කළෙමු.

“නියත වශයෙන් ම මම මාගේ පරමාධිපති වෙත යන්නෙකු වෙමි. ඔහු මට මග පෙන්වනු ඇතැයි” ඔහු පැවසුවේ ය.

මාගේ පරමාධිපතියාණනි! මාහට දැහැමියන් අතරින් කෙනෙකු පිරිනමනු (යැයි ඉබ්රාහීම් පැවසුවේ ය.)

එවිට ඉවසිලිවන්ත දරුවකු පිළිබඳව අපි ඔහුට ශුභාරංචි දැන් වූයෙමු.

ඔහු (ඉබ්රාහීම්) සමඟ වෙහෙසන වියට ඔහු ළඟා වූ කල්හි, “අහෝ මාගේ පුතණුවනි! නියත වශයෙන් ම මම ඔබගේ ගෙල සිඳ දමන්නාක් මෙන් සිහිනයක් දුටුවෙමි. එහෙයින් (ඒ ගැන) ඔබ අදහස් කරනුයේ කුමක් දැ? යි බලනු.” යැයි කීහ. “අහෝ මාගේ පියාණනි! ඔබට අණ කරනු ලබන දෑ ඔබ සිදු කරනු. අල්ලාහ්ගේ අභිමතය පරිදි ඔබ මා ඉවසිලිවන්තයින් අතරින් දැක ගනු ඇතැයි” ඔහු (පුතු) පැවසී ය.

පසුව ඔවුන් දෙදෙනා (අල්ලාහ්ගේ අභිමතයට) එකඟ වූ කල්හි (ඉබ්රාහීම්) ඔහු (ඉස්මායිල් වන) ඔහුව මුණින් අතට පෙරළා දැමී ය.

තවද ‘අහෝ ඉබ්රාහීම්!’ යැයි අපි ඔහු ඇමතුවෙමු.

“සැබැවින් ම ඔබ සිහිනය සැබෑ කළෙහි ය.” නියත වශයෙන් ම අපි එලෙසය දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.

නියත වශයෙන් ම පැහැදිලි පරීක්ෂාව මෙය ම ය.

තවද මහත් වූ (සත්ව) කැපයක් අපි ඔහුට ඇප වශයෙන් පිරිනැමුවෙමු.

තවද පසු පැමිණි පරපුර අතර ඔහු පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.

“ඉබ්රාහීම් වෙත ශාන්තිය අත් වේවා!”

අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙස ය.

නියත වශයෙන් ම ඔහු දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් විය.

තවද අපි දැහැමියන් අතරින් වක්තෘවරයකු වශයෙන් ඉස්හාක් පිළිබඳව ඔහුට (ඉබ්රාහීම්ට) ශුභාරංචි දැන්වූයෙමු.

තවද අපි ඔහු (ඉබ්රාහීම්) වෙත හා ඉස්හාක් වෙත අභිවෘද්ධිය ලබා දුනිමු. තවද ඔවුන් දෙදෙනාගේ පරපුරින් දැහැමි අය ද ප්‍රකට ලෙස තමන්ට ම අපරාධ කර ගන්නා අය ද විය.

තවද සැබැවින් ම අපි මූසා හා හාරූන් වෙත උපකාර කළෙමු.

තවද අපි ඔවුන් දෙදෙනා හා ඔවුන් දෙදෙනාගේ පිරිස මහත් වූ ව්‍යසනයෙන් මුදවා ගත්තෙමු.

තවද අපි ඔවුනට උදව් කළෙමු. එහෙයින් ඔවුහු ජය ලබන්නන් වූහ.

තවද අපි ඔවුන් දෙදෙනාට පැහැදිලි ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු.

තවද අපි ඍජු මාර්ගය වෙත ඔවුන් දෙදෙනාට මග පෙන්වූයෙමු.

තවද පසු පැමිණි පරපුර අතර ඔවුන් දෙදෙනා පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.

තවද මූසා හා හාරූන් වෙත ශාන්තිය අත්වේවා!

නියත වශයෙන් ම අපි දැහැමියන්ට ත්‍යාග පිරිනමනුයේ එලෙස ය.

නියත වශයෙන් ම ඔවුන් දෙදෙනා දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් වෙති.

තවද නියත වශයෙන් ම ඉල්යාස් ධර්ම දූතයින් අතරිනි.

“නුඹලා බැතිමත් නො වන්නෙහු දැ”යි ඔහු තම ජනයාට පැවසූ අවස්ථාව සිහියට නගනු.

“මැවුම්කරුවන්ගෙන් වඩාත් විශිෂ්ටයා අතහැර දමා නුඹලා ‘බඅල්’ නම් වෙනත් දෙවියකුට ඇරයුම් කරන්නෙහු ද?

ඔහු නුඹලාගේ පරමාධිපති වූ ද නුඹලාගේ මුල් මුතුන්මිත්තන්ගේ පරමාධිපති වූ අල්ලාහ් ය.

එහෙත් ඔවුහු ඔහු බොරු කළෝ ය. සැබැවින් ම ඔවුහු (විනිශ්චය වෙත) ඉදිරිපත් කරනු ලබන්නෝ වෙති.

එහෙත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර.

තවද පසු පැමිණි පරපුර අතර ඔහු පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.

ඉල්යාසීන් වෙත ශාන්තිය අත් වේවා!

නියත වශයෙන් ම අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙස ය.

නියත වශයෙන් ම ඔහු දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් විය.

තවද නියත වශයෙන් ම ලූත් ධර්ම දූතයින් අතරිනි.

ඔහු හා ඔහුගේ සෙසු සියලු නිවැසියන් මුදවා ගත් අවස්ථාව සිහිපත් කරනු.

ඉතිරි වූවන් අතර වූ මැහැල්ලියක් හැර.

පසුව අපි සෙස්සන් සහමුලින් ම විනාශ කළෙමු.

තවද නියත වශයෙන් ම නුඹලා උදෑසන ද ඔවුන්(ගේ විනාශ කරනු ලැබූ වාසස්ථාන) පසුකර ගමන් ගන්නෙහු ය.

රාත්‍රියෙහි ද (ගමන් ගන්නෙහුය). එහෙයින් නුඹලා වටහා නො ගන්නෙහු ද?

තවද නියත වශයෙන් ම යූනුස් ධර්ම දූතයින් අතරිනි.

පටවන ලද නැව වෙත ඔහු පලා ගිය අවස්ථාව සිහියට නගනු.

එවිට (නැවෙහි සිටි අයවළුන්) කුසපත් ඇද්දේ ය. එවිට ඔහු පරාජිතයින් අතරින් විය.

පසුව ඔහු දොස් නගනු ලැබූ තත්ත්වයේ මත්සයා ඔහු ගිල දැමී ය.

නියත වශයෙන් ම ඔහු සුවිශුද්ධ කරන්නන් අතරින් කෙනෙකු නො වී නම්,

ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා උගේ කුස තුළ රැඳෙන්නට තිබුණි.

එවිට ඔහු රෝගීව සිටිය දී අපි ඔහු පාළු වෙරළකට හෙළුවෙමු.

තවද අපි ඒ මත වැල්වලින් යුත් ගසක්හට ගැන්වූයෙමු.

තවද අපි ඔහු සිය දහසක් දෙනා වෙත හෝ (ඊට වඩා) අධික වූ අය වෙත ධර්ම දූතයකු ලෙස එව්වෙමු.

එවිට ඔවුහු විශ්වාස කළෝ ය. එහෙයින් අපි ඔවුනට ටික කලකට භුක්ති විඳින්නට සැලැස්වූයෙමු.

පරමාධිපතිට ගැහැනු දරුවන් සහ ඔවුනට පිරිමි දරුවන් සතු දැ? යි යන්න ගැන (නබිවරය!) ඔවුන්ගෙන් නුඹ කරුණු විමසනු.

එසේ නැතහොත් (අප ඉදිරියේ) ඔවුන් සාක්ෂිකරුවන් ලෙස සිටිය දී අපි මලක්වරුන් කාන්තාවන් ලෙස මවා ඇත්තෙමු ද?

දැනගනු! නියත වශයෙන් ම ඔවුන් බොරු ගොතමින් පවසනුයේ.

අල්ලාහ් ජාතක කළ බවයි. නියත වශයෙන් ම ඔවුහු මුසාවාදීහු ය.

ඔහු පුතුන්ට වඩා දූවරුන් තෝරා ගත්තේ ද?

නුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද?

නුඹලා මෙනෙහි නො කරන්නෙහු ද?

නැතහොත් (මේ පිළිබඳ) නුඹලාට පැහැදිලි සාධකයක් තිබේ ද?

එසේ නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම්, නුඹලා නුඹලාගේ පුස්තකය ගෙන එනු.

තවද ඔහු අතර හා ජින්නුන් අතර ඔවුහු නෑදෑකමක් ඇති කළෝ ය. තවද නියත වශයෙන් ම තමන් සම්මුඛ කරනු ලබන්නෝම යැයි ජින්වරුන් සැබැවින් ම දැනගත්තෝ ය.

ඔවුන් වර්ණනා කරන දැයින් අල්ලාහ් සුවිශුද්ධ ය.

එහෙත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර.

එහෙයින් සැබැවින් ම නුඹලා හා නුඹලා නමදින දෑ වනාහි...

නුඹලා ඔහුට එරෙහිව නොමග හරින්නන් ලෙස නැත.

නිරා ගින්නට පිවිස දැවීමට නියම කරනු ලැබුවන් හැර.

අපගෙන් වූ කිසිවෙක් වෙත් නම් ඔහුට නියම කරනු ලැබූ ස්ථානයක් තිබෙන්නේ ම ය.

තවද නියත වශයෙන්ම අප මය පෙළගැසෙන්නෝ.

තවද නියත වශයෙන් ම අප මය පිවිතුරු කරන්නෝ. (යැයි මලක්වරු පවසති.)

තවද (දේවත්වයට ආදේශ කරන්නන් වන) ඔවුහු (මෙසේ) පවසමින් සිටියෝය.

(එනම්) මුල් අයගෙන් වූ මෙනෙහි කිරීමක් සැබැවින් ම අප වෙත තිබුණේ නම්,

සැබැවින් ම අපි අල්ලාහ්ගේ අවංක ගැත්තන් වන්නට තිබුණි යැයි (ඔවුහු පවසමින් සිටියෝ ය.)

එහෙත් ඔවුහු එය (කුර්ආනය) ප්‍රතික්ෂේප කළෝ ය. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත.

තවද ධර්ම දූතයන් වශයෙන් එවනු ලැබූ අපගේ ගැත්තන්හට අපගේ (ජයග්‍රහණයේ) වදන සැබැවින් ම පෙරටු විය.

නියත වශයෙන් ම ඔවුහු මය උදව් කරනු ලබන්නෝ.

තවද නියත වශයෙන් ම අපගේ සේනාව වන ඔවුහු මය (අබිබවා යමින්) ජය ලබන්නෝ.

එහෙයින් (නබිවරය!) නුඹ මද කලක් දක්වා ඔවුන්ගෙන් ඉවත්ව සිටිනු.

තවද ඔවුන් ගැන නුඹ අවධානයෙන් සිටිනු. ඔවුන් මතු දකිනු ඇත.

එසේ අපගේ දඬුවම ද ඔවුන් ඉක්මණින් පතනුයේ?

පසුව එය (අපේ දඬුවම) ඔවුන්ගේ මිදුලට පහළ වූ විට, අවවාද කරනු ලැබූවන්ගේ උදෑසන නපුරු විය.

තවද මද කලක් දක්වා ඔවුන්ගෙන් නුඹ ඉවත්ව සිටිනු.

තවද ඔවුන් ගැන නුඹ අවධානයෙන් සිටිනු. ඔවුන් මතු දකිනු ඇත.

ගෞරවය හිමි ඔබේ පරමාධිපති ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධ ය.

තවද සියලු ම ධර්ම දූතයින් වෙත (සලාම් හෙවත්) සාමය අත්වේවා!

තවද සර්ව ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා හිමිය.