عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The enshrouded one [Al-Muzzammil] - Sinhalese translation - Rowwad Translation Center

Surah The enshrouded one [Al-Muzzammil] Ayah 20 Location Maccah Number 73

අහෝ පොරවා ගෙන සිටින්නාණනි!

සුළු කාලයක් හැර රාත්‍රියෙහි නැගිට සිට නැමදුම් කරනු.

එයින් අඩක් හෝ එයින් ස්වල්පයක් හෝ නුඹ අඩු කර ගනු.

නැතහොත් ඊට වඩා වැඩි කර ගනු. තවද අල් කුර්ආනය නිසි අයුරින් පිළිවෙළට පාරායනය කරනු.

නියත වශයෙන් ම අපි නුඹ වෙත බරැති ප්‍රකාශයක් මතු හෙළන්නෙමු.

නියත වශයෙන් ම රාත්‍රියේ අවදිවීම (සිත්) දමනයට වඩාත් බලගතු ය. තවද කියවීමට වඩාත් උචිත ය.

දහවල් කාලයේ නියත වශයෙන් ම ඔබට දිගු කාර්ය භාරයක් ඇත.

තවද ඔබේ පරමාධිපතිගේ නාමය ඔබ මෙනෙහි කරනු. තවද (නැමදුමෙහි) ඔහු වෙත පූර්ණ ව යොමු වනු.

ඔහු නැගෙනහිර හා බටහිරෙහි හිමිපාණන් ය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහෙයින් භාරකරුවකු වශයෙන් ඔබ ඔහු ගනු.

තවද ඔවුන් පවසන දෑ ගැන නුඹ ඉවසනු. තවද අලංකාර මග හැරීමකින් ඔවුන් මග හරිනු.

තවද සැප පහසුකමින් යුත් බොරු පවසන්නන් මා සමඟ නුඹ අත්හැර දමනු. තවද නුඹ ඔවුනට ස්වල්ප කාලයක් අවකාශ දෙනු.

නියත වශයෙන් ම අප වෙත (ඔවුන් සඳහා) විලංගු හා නිරය ද ඇත.

උගුර හිර කරන ආහාරයක් හා වේදනීය දඬුවමක් ද (ඇත).

එදින මහපොළොව හා කඳු කම්පනය වෙයි. තවද කඳු හැළෙන සුළු ගොඩ ගසා ඇති පස් බවට පත් වනු ඇත.

ෆිර්අවුන් වෙත අපි දූතයකු එව්වාක් මෙන් නුඹලා මත සාක්ෂි දරන දූතයකු නුඹලා වෙත සැබැවින් ම අපි එව්වෙමු.

එහෙත් ෆිර්අවුන් එම දූතයාණන්ට පිටුපෑවේ ය. එහෙයින් අපි ඔහු බිහිසුනු ග්‍රහණයකින් ග්‍රහණය කළෙමු.

නුඹලා ප්‍රතික්ෂේප කළේ නම් දරුවන් පවා මහලුන් බවට පත් කරන දිනයෙහි නුඹලා කෙසේ නම් ආරක්ෂා වන්නෙහු ද?

එහි අහස පිපිරී යන්නකි. ඔහුගේ ප්‍රතිඥාව සිදු කරනු ලබන්නක් විය.

නියත වශයෙන් ම මෙය මෙනෙහි කිරීමකි. එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එය තම පරමාධිපති වෙත වූ මාර්ගයක් ලෙස ගනිත්වා!

නියත වශයෙන් ම නුඹ රාත්‍රියෙන් තුනෙන් දෙකකට වඩා අඩු කාලයක් ද ඉන් අඩක් ද තුනෙන් එකක කොටසක් ද නැගී සිටින බවත් නුඹ සමඟ සිටින අය අතරින් පිරිසක් ද (එසේ) සිටින බවත් නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති දන්නේ ය. අල්ලාහ් රාත්‍රිය හා දහවල නිර්ණය කරන්නේ ය. නුඹලා එය (නිවැරදිව) ගණන් නො කරන බව ඔහු දන්නේ ය. එවිට ඔහු නුඹලාට සමාව දුන්නේ ය. එහෙයින් අල් කුර්ආනයෙන් පහසු දෑ නුඹලා පාරායනය කරනු. නුඹලා අතර රෝගීන් හා අල්ලාහ්ගේ භාග්‍යයන් සොයා මහපොළොවේ සැරිසරන වෙනත් අය හා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදින තවත් අයද සිටින බව ඔහු දන්නේ ය. එහෙයින් එයින් පහසු දෑ නුඹලා පාරායනය කරනු. තවද සලාතය නිසි අයුරින් ඉටු කරනු. zසකාත් ද දෙනු. අල්ලාහ්ට අලංකාර ණයක් දෙනු. නුඹලා වෙනුවෙන් කවර යහපතක් නුඹලා ඉදිරිපත් කරන්නේ ද නුඹලා එය අල්ලාහ් අබියස දැක ගනු ඇත. එය ශ්‍රේෂ්ඨ ය. ප්‍රතිඵලයෙන් වඩාත් ඉමහත් ය. තවද නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය. මහා කරුණාන්විත ය.